Cherreads

Chapter 2 - දෙවන අවශේෂය

ආදරේ සීමා... ගොඩක් අය අහලා ඇති ආදරේ සීමා ගැන, හැබැයි එහෙම සීමා තිබ්බේ ආදරේට විතරක්ම නෙමෙයි.. හ්ම්ම්... ඔව් යාලුකම් වලටත් තිබ්බා... එතකොට අපි කව්ද.. යාලුවෝද..?

ඊයේ අලුතෙන්ම ගත්ත කවි පොතත් දිග ඇරන් සින්දුවකුත් අහන් මන් ආපහු මගේ මනෝ ලෝකෙට අඩියක් තිබ්බා.. කවි පොතේ සමහර වචන හිතට අදත් හරි බරට දැනුනේ මගේ ඇඟිලි තුඩු ඒ අකුරු දිගේම යද්දි පොතේ කොළවලින් එන සියුම් බව හිතට නොදැනෙන වෙලාවක.

- ඇය ඇන්ද අප අතර සීමාව -

පොතේ දහ නමවන කවියේ තේමාව දැක්ක ගමන් මගේ ඔලුවට ආවේ එකම නමයි.

'පියවරෙන් පියවර

ආවෙමි මේ තාක් දුර

තවත් ඉදිරියට නොයන්නට

ඇය ගසා පෙන්වයි බැරියර'

කවියේ පද මම හෙමිහිට මිමිණුවේ ඒ පදවල සැඟවුන තිත්ත ඇත්ත මගේ සවන් හරහාවත් මොලේට යයි කියන බයට.

"ඕයි චූටි, මොනවද කාමරේ අස්සේ ඉඳන් කරන්නේ. මොකෝ අද ගෙදර, තමුසෙගේ මහලොකු බොඩිගාඩ් අද නිවාඩුද.."

හිතට එන සිතුවිලි වලට විරාමයක් දෙන්න වුනේ මගේ නිදහස කියන අකුරු හතරට උපරිමෙන්ම බාධා කරන්නම ඉපදුන මේ ගෙදර ඉන්න ජිවීයෙක් නිසා, "යුගාෂ් අභිසෙත්" නාහෙට නාහන මගේ අයියා.

ඊයේ හවස මාව ඇරලවලා ගියත් හරි සීනුගෙන් එක කෝල් එකක් මැසෙජ් එකක් නෑ.. මට කෝල් ගන්න බැරුව නෙමෙයි, එයා කතා කරනකන් එයාට කතා නොකර ඉන්න මං නිකන්ම පුරුදු වෙලා.. සීමා!

"පොඩී, අනෙහ් මේ පාඩුවේ ඉන්නවද.. මට මේ දවස් ටිකට ඔයාගේ බෙලෙක්ක වොයිස් එක අහන්න ඕන කමක් නෑ.. මගේ අමාරු තවත් වැඩි වෙනවා.."

ඇඟට දැනුන අපහසුවත් එක්ක මන් ඔලුව උස්සලා දොරගාව හිටිය අයියාට කිව්වේ එයාගේ අතේ තියෙන මග් එකටයි පොටැටෝ චිප්ස් පැකට් එකටයි හොර බැල්මක් දෙන ගමන්.

"මොනවද චූටි මේ පාඩම් කරනවා කියලා කරන බොරු, අනික තමුසේට අපි කවුරුවත් කිව්වද ආපහු එක්සෑම් කරන්න කියලා. රිසාල්ට්ස් එනකන් ගෙදරට වෙලා ආතල් එකේ කාලා බීලා ඉන්නවකෝ, හරි තමුසේ ෆේල් වුනත් මොකෝ, බලපන් මේ මන් එකක් ෆේල් කියලා මළාද.. නෑනේ නෑනේ... තාත්තා වැඩිම ඕනේනම් උඹව සීනී අප්පච්චියෙක් හොයලා බන්ඳලා දෙයි.. මස්සිනා අප්පච්චිට පිං සිද්ධ වෙන්න මාත් ගොඩ.. ආ ආ මෙන්න මේ කොෆි එක බීලා කනවා මේක."

පොඩි අයියා වක්කඩ කැඩුවා වගේ කියවන ගමන් ස්ටුල් එක උඩින් මග් එක තියලා චිප්ස් පැක් එක මගේ පැත්තට එව්වේ මගේ හිත අර උණු කෝෆි එක වගේම උණුසුම් කරන ගමන්..

"අනෙහ් මේ පොඩි අයියේ, මං සීනී අප්පච්චියෙක් බැරි නම් අම්මණ්ඩියෙක්ව හරි බැඳගන්නම්.. ඔයා ඉතින් කවදාහරි කාගේහරි සුගර් බේබියෙක් නේද කියලා මතක් වෙද්දි පපුව වාවන් නෑ... මට කලින් නම් තමුසේව දීග දෙයි කොහොමත්.."

තව කියන්න දාහක් දේවල් කටට ආවත් මගේ අවදානේ ගියේ ඈතින් ඇහුන ඕනම තැනකදි මට අඳුරගන්න පුලුවන් බයික් හඬකට.. ඔව් කවසාකියක්.. ඒ මන් දන්න හුච්චක්කුවමයි. ඇඳෙන් පැන්න මන් අයියවත් පෙරළන් ගේට් එක දිහාට දුවන් ගියේ මට වැරදෙන්න බෑ කියලා හොඳටම විශ්වාස නිසාමයි.

ගේට් එක ඇරලා එළියට යද්දිම මං දැක්කේ හෙල්මට් එක ඔලුවෙන් පන්නන, කළු ලෙදර් ජැකට් එකක් දාගෙන හිටිය මගේ ඇස් මඟ බලාගෙනම හිටිය රුවක්.. ආවා කියලා දන්වන්න හොර්න් එකක් ගහලාවත් කෝල් එකක්වත් නොදී එයා ඒ හිටියේ මන් මේ වගේ එනවා කියලා හොදටම විශ්වාසෙන් වගේ.

"සීනු, ඇයි බන් උඹ එකපාරක්වත් කෝල් එකක් මැසෙජ් එකක් දැම්මේ නැත්තේ.. හිතුන් නැද්ද මන් බලාගෙන ඉන්නවා කියලා. අඩුම උඹ පරිස්සමට ගියා කියලා හරි කියන්න බැරිද. පුරුදු රකින්න බැරිනම් ඒවාට අඩුම මාව පුරුදු නොකර ඉන්න තිබ්බා.."

හොර්මොන්ස්!!! I hate it.. මටත් කලින් මගේ හොර්මොන එයාට කතා කරන්න ගද්දි මන් කරපු වැරැද්ද මට තේරුනේ එයාගේ නළල රැලි වෙලා ඇහි බැම ලං වෙද්දි.. දැන් පරක්කු වැඩි..

සීනුව දැක්ක ගමන්ම මගේ හිතේ හිර කරන් හිටපු හැමදේම වාන් දැම්මේ මගේ ඉස්සරහ මේ ඉන්නේ කව්ද කියලා මොහොතකට අමතක වෙලා.. හැමදාම වගේ ඒ හැඟිම් විරහිත ඇස් කිසිම තෙතමනයක් නැතුව මගේ දිහා බලන් හිටියා.

"කියවලා ඉවරද, දැන් මන් කියන්නද.. උදේ මන් ගියා ඩේට් එකකට, අනික උඹයි මායි ඊයෙත් හම්බුනානේ.. කෝල් කරලා මැසෙජ් කරලා ආපහු මොනා කතා කරන්නද, අනික ඒ ටිකට මොනා කියලා මට වෙන්නද.."

සමහර වෙලාවට ඇත්ත කොයිතරම් තිත්තද කියනවානම් මන් ආසයි එයා බොරුවක් ඇත්තක් වගේ හරි ගොතලා කියනවානම්, සත්තයි මන් ඒ දේ හෙට හිරු පායනවා තරම්ම විශ්වාස කරන්නම්.

"දැන් උඹගේ ඔය ඔලු ගෙඩිය ඇතුලේ වැඩ කරන්නේ ඒ කව්ද, කොහෙද, මොකටද වගේ දේවල් නම් ඒ දේවල් ඔතනින්ම නවත්තපන්, මොකද ඒ දේවල් උබට කියන්න මං බැඳිලා නෑ. මාව හිරකරලා තියාගන්න උඹට තියා කාටවත්ම බෑ.. සීමාවේ ඉඳපන්"

හ්ම්ම් සීමා!! ඔව් ඒක මට නුපුරුදු වචනයක් නෙමෙයි. මට අමතක වුනත් සීනු දන්නවා ඒක ආපහු මතක් කරන්න, අල්පෙනෙති තුඩකින් පපුව හූරන් යන වේදනාවක් දැනුනත් මන් එයා දිහා බලලා මූණට හිනාවක් ගත්තා.

"'මන් කියන නොකියන දාහක් අතරින් ඔයාට තේරුනේ ඕක විතරමද සීනු, අනික ඔයාම මට කිව්වොත් ඇරෙන්න මන් කවද්ද ඔයාගේ ජිවිතේ අස්සට එබිලා බැලුවේ.. ඔයාව අයිතියි ඔයාට.."

මන් එයාගේ ජිවිතේ දිහාට අඩියක් ඉස්සරහට තියන්න හිතන හැම මොහොතකම එයා අඩි ගණනාවක් පස්සට යන්නේ අපි දෙන්නා අතර පරතරය කවදාවත් අඩු වෙන්නේ නෑ කියලා මතක් කරලා දෙන ගමන්. බැඳිම් සංකීර්ණයි!

"ආහ් මෙන්න මේක ගනින්, නිවෙන්න කලින්ම බීපන්.

උඹේ මූණත් එක්කම සුදුමැලි වෙලා. අදාළ නැති දේවල් ඔලුවට නොගෙන ඉන්න තාක්කල් උඹ සතුටින්.."

සීනු එයාගේ බැක්පැක් එකෙන් දුඹුරුපාට කඩදාසි බෑග් දෙකක් එළියට අරන් දෙන ගමන් ඒ කිව්වේ මට සතුටින් ඉන්න ලේසිම විදිය. ඒත් මේ මුරණ්ඩු හිත කරන්නෙම රිදෙන තැනම නතර වෙන එක."

කඩදාසි බෑග් දෙක ඇරලා බලන්නවත් ඕන නෑ.. ඒ මන් මේ වගේ දවස් වලට කන්න වැඩිපුරම ආස දේවල් කියලා කවරේ තියෙන කඩේ නමින්ම කියන්න පුලුවන්. ඔයාට මට වඩා ඒ දින මතක කොහොමද සීනු? මන් කන්න කැමති දේවල් මෙච්චරම මතක තිබුනේ කොහොමද කියනවද මට? මාසේකට සැරයක් නොවරදවා මේ දේවල් කරන්නේ ඇයි සීනු. ඔයා මාව පටලනවා.

"ඔයා මේක ගන්නම එච්චර දුරක් ගියාද සීනු, පව් ඔයා.. යන්කෝ ගේ ඇතුලට පොඩීත් ඉන්නවා.. ඔයා ගැනත් ඇහුවා. අනෙහ් මං ආසම දේවල් අරන් ආවට ඔයාට පිං සීනු.. වේදනාවත් අමතක වුනා..."

" ඔච්චර පොඩි දේකට දාහක් දේවල් කියවන්න ඕනෙ නෑ බන්.. මන් අද ගියේ Jagro එකට, දැකලා අරන් ආවා එච්චරයි. උඹේ පිං අරන් මන් රහත් වෙන්නද! මන් පස්සේ වෙලාවක එන්නම්කෝ, මට දැන් යන්නත් ඕනේ.. මතක් කළා කියපන් අර පිං බතාව"

සීනු කතා කරන වචන වලින් රිදෙන හරිය හිතට නොගෙන එයාට අඩුමගානේ මාව මතක් වුනා කියන එක විතරක් මන් හිතට ගත්තේ අර දුඹුරුපාට කඩදාසි බෑග් එක පපුවට තුරුලු කරගන්න ගමන්.

ලා රතු පැහයෙන් දිලිසෙන කොන්ඩෙත් අතින් හදලා එයා ආපහු හෙල්මට් එක දාගත්තේ මන් වෙනුවෙන් දුන්න වෙලාව ඉවරයි කියන්න වගේ..

"හෙට උදේ එහෙනම් තාත්තා එක්ක පෙපර් ක්ලාස් එකට වරෙන්, නැත්තන් කියපන් මන් එන්නම් ගන්න. උඹට රිසාල්ට්ස් එනකන් ඉන්න බැරි නිසාම යනවා මිසක් මන් දන්නවා උබ අනිවා ගොඩ කියලා. හ්ම්ම් දැන් ඇතුලට යන්න. මන් උබ ගියාට පස්සෙ යන්නම්."

ඒ වචන එක්කම එයා යන්න කලින් මගේ ඔලුවට අත තිබ්බේ දැවී දැවී ඇවිලෙන මගේ හිතට හීන් වැස්සක් වෙලා.. හිතාගන්න බැරි රිද්දන්න නිවන්න එකම හිතකට පුලුවන් වුනේ කොහොමද කියලා. මං හැරිලා ගේ ඇතුලට යන්න ආවේ සීනු කීයටවත් මං යනකන් යන්නේ නෑ කියලා දන්න නිසා. හිතින් එයාට පරිස්සමෙන් කියන වචනේ කියන ගමන් මන් ගේ ඇතුලට ඇවිදන් ආවේ බයික් එක යන හඬට ඇහුම්කන් දීගෙනමයි.

"හම්මට දැන් Uber Eats එකෙන් ඩිලිවරි කරන්නේ කවසාකි වලින් ඇවිත්ද?. යකෝ මෙහෙම ඩිලිවරි කරන වුන් අපිට හම්බෙන් නෑනේ.."

දොරේ ඔලුවස්සට හේත්තුවක් දාන් පොඩී ඒක කිව්වේ මූණේ හෙන සමච්චල් හිනාවක් එක්ක. මූට මේ තියෙන්නේ පැහැදිලි ඉරිසියාව.

"පොඩී තමුසේ හරිනම් මට මේවා ගෙනත් දෙන්න ඕනේ, ලැජ්ජයි අයියා කියලා කියන්නත්, තමුසේ නම් මහ පිං බතෙක්ම තමා. ඉල්ලන් එන්න එපා එක බිංදුවක්වත්, මේක සීනු මට ගෙනත් දුන්නේ"

"අනේ උබටත් අර දඬු මොණරි කරන කියන ඒවා විතරයි පේන්නේ. මං පව් කියලා ලඟටම කෝපි එකත් ගෙනත් දුන්නා, මගේ චිප්ස් පැක් එකත් දුන්නා. අනික යකෝ මන් උදේ ඇහුවාමත් brownies ඕඩර් කරලා ඕනේද කියලා මට ලොකු සීන් දැම්මා නේද.. ආයේ වරෙන්කෝ මොනහරි ඉල්ලන්..."

"පොඩී, මටද mood swings තියෙන්නේ නැත්තන් ඔයාටද, කෙක්ක වගේ එල්ලෙන්න එපා අනෙහ්. සීනුට වැඩ තියන් මට මේවා දීලා ගියේ.. අනික මං පොඩ්ඩක් දෙන්නම් රහ බලන්න විතරක්.."

පොඩී එක්ක කියොගෙන යන්න තරම් මට මූඩ් එකක් නැති නිසා මන් කෑම එකත් අරන් කාමරෙට යන්න හැදුවත් මාව එතනම ගල් වුනේ පොඩී කියපු දෙයක් නිසා.

"චූටි, කාට කාටත් උරුම වුන පාට පාට පුංචි මල් මල් හීන තියෙනවා.. හැබයි ඒවා හීන විතරයි. ඉක්මනටම ඒ හීන වලින් ඇහරෙන්න"

හැමවෙලෙම විහිළුවෙන් ඉන්න මගේ පොඩී දෙයක් සීරියස් කියන්නේ හරිම අඩුවෙන්.. ඒ වචන දිගේ හිතන්න දේවල් ගොඩක් තිබ්බත් මන් ඇහුන් නෑ වගේ කාමරේට ආවේ ඇත්ත බොරුව අතර මොහොතක් දෝලනය වෙද්දි..

වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ නේ මං

මුසා බස් ගොතා කියන්න කාරණා නැතත්

හීන මානයෙන් මිදෙන්න ඕනෙ නෑ තවත්

'ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්....'

ආලෙන් බැඳි මා ආවා..

දෑතින් බැඳි මා මියුනා..

කාමරේට එද්දිම ඒ ඇහුනේ මන් යන්න කලින් දාලා ගිය සින්දු ලිස්ට් එකේ මගේ ආසම සින්දුවක්.. මහිරුගේ හඬ එක්ක ඇස් කෙවෙනි වලට කඳුලක් උනන්න ආවත් මන් ඒක නවත්‍තගත්තේ ඒ කඳුලට වටිනාකමක් නැති තැනක ඇයි මං කඳුළු හෙලන්නේ කියලා. ඔයාට ඇත්තටම මගේ හිත පෙන්නේ නැද්ද සීනු..?

ඉතින් මේ නම් මුහුදේ රැළි සැරම කාලයයි.

-

-

-

ත්වරණය හා මන්දනය අතර හිත දෝලනය වෙද්දි මට දැනුනා කාගේ හරි ඇස් දෙකක් මගෙ ගාවමයි කියලා. හැමෝම මගේ රිසාල්ට්ස් ගැන මට වඩා විශ්වාසයකින් ඉද්දි රිසාල්ට්ස් එනකන් කියලා හරි මන් ක්ලාස් එන්න තීරණේ කලේ ඇයි කියන්න මං අදටත් දන්නෙ නෑ. සමහරවිට ඒ අර ඇස් යුගල නිසා වෙන්නත් පුලුවන්.

පුස්සා සර්ගේ උදේම තියෙන පෙපර් ක්ලාස් එක කරන්නෙම සර්ගේ අති පණ්ඩිත සරසවි වරම් ලබපු මහෝත්තමයින්. මන් මේ කියන ඇස් දෙකේ අයිතිකාරීත් ඒ අතරින් ඉස්සරහින්ම හිටපු කෙනෙක්. එක ලමයෙක් වත් හ්ම්ම් සද්දයක් නැතුව ඔලුව නවන් පෙපර් එක කලේ සර්ට වඩා මේ මහොත්තමයින් අවුස්සන්න අකැමති කමට.

"යුවී, අනේ උඹේ වදේ නිසා ආවා මිසක් මට නම් ආපහු කිසිම ආසාවක් නෑ මේ බංකු උඩ පුප බැලන්ස් කරන් ඉන්න.. එක්කන් ආවානම් තනියම බුදු නොවී ඕක ටිකක් මට පේන්න මෙහාට කරන් ලියපන්කෝ.."

"අනෙහ් අමු කැවිලද බන් මහීයෝ කෑගහන්න, අර ඉස්සරහ ඉන්න යස්සනීට කියලා පන්තිය මැද්දේම නෝන්ඩි වෙන්නද ඕනේ.. බලන් ලියපන් ශේප් එකේ... මට නිකන් කොහොමත් දැනෙනවා මොනාහරි වෙන්න ළඟයි කියලා.."

මහීටත් පේන්නම හදපු ගණන් වලට පිළිතුරු, කොටු කොලේ සටහන් කරන් ගියේ පිටිපස්සෙන් ඇහෙන කසු කුසුව ගැන හිතේ හොඳ හැඟීමක් ඇති නොකරද්දි.. එක ඇස් යුගලකට වඩා මගේ පස්සෙන් කියලා මට දැනුනේ අමුතු නොසන්සුන් කමක් එක්ක.

"ඒයි මේ හලෝ, ඔයාට මේ චිට් එක දෙන්න කියලා එහා පැත්තේ පේළියකින් ආවා."

මගේ පිටට දැනුන තට්ටුවක් නිසා පිටිපස්ස බලපු මට කතා කලේ සුදු නවපු කොළයක් අතේ තියන් ඉන්න කෙල්ලෙක්. මහීත් ඒ ගමන්ම හැරුනේ කොලේ දිහා නොපහන් බැල්මක් දෙන ගමන්, අනවශ්‍ය අවදානයක් අපේ පැත්තට නොඑන්න කොලේ අතට ගත්තත් ඒ සැනින්ම මගේ අතින් ඒක ගිලිහුනේ ලගම ඉන්න කෙනා දැකලා මට හුස්ම ගන්නත් අමතක වෙද්දි.

" අන්තිම පේළියට කලින් පේළියේ සුදු ෂර්ට් පෙපර් එකත් අරන් දැන්ම එළියට යන්න. ඉගෙනගන්න ආවා අය විතරක් මෙතන හිටියම ඇති"

මයික් එකක් නැතුව වුනත් මුළු පංති කාමරයම හෙල්ලිලා යන තරම් තියුණු ගැඹූරු හඬකින් ඒ විධානය දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි මගේ හිත අහන්නම ආස හඬක්, මගෙන් ගිලිහුන කොලේ දිග ඇරන් සීනු ඒක කිව්වේ කාටද කියලා බලන්න මට ඕන වුනත් හිත කිව්වේම ඉස්සරහ හැරිලා ඉන්න එක ඇගට හොඳයි කියලා.

"ඒ යුවීයෝ යකෝ ඒ නාදිව්, අපේ බැජ් එකේ වැඩ්ඩා. මූ ද උඹට චිට් එක එව්වේ!! ක්ලාස් එකේ අන්තිම දවසෙත් මූ උඹට කතා කරන්න හැදුවා නේද... අම්මපා උබලා ඔක්කොම වැඩ්ඩෝ ආපහු පෙපර් ක්ලාස් එන්නේ ගෙදර ඉන්න බැරි ගායටද බන්."

ඇස් කොනින් මන් දැක්කා සුදු ෂර්ට් එකක් ඇදගත්ත කොල්ලෙක් ක්ලාස් එකෙන් එළියට යනවා. මහී කිව්වා හරි ඒ කව්ද කියන්න අපේ පන්ති ආව ඕන කෙනෙක් දන්නවා. සර්ගේ කටින් එක පාරක් හරි නාදිව් කියන නම කියවන්නේ හැම පෙපර් එකටම වැඩිම ලකුණු ගන්න නිසා. ඒත් සීනුට මෙච්චර කේන්ති යන්න ඒ කොලේ මොනාද තිබුනේ...

"අම්මොහ් පුපත් රිදෙනවා බන් වාඩි වෙලාම ඉඳලා. අනෙහ් මට දැන්නම් ඇති බන්...යමන් බඩට මොනාහරි දාගන්න.."

හෝරා ගෙවී යද්දි පෙපර් එකත් බාරදීලා අපි කැන්ටිම පැත්තට යන්න ගියේ යකෙක් කන්න තරම් බඩගින්නක් දැනෙද්දි.. ඒත් කව්ද හිතුවේ යකා ඉස්සරහම ඉඳියි කියලා.. පඩිපෙළ ලඟම සීනු එක්ක හිටියේ අර සුදු ෂර්ට් කොල්ලා නාදිව්..

"ගෞෂි අක්කේ මට දැනගන්න ඕනෙ මන් කරපු වැරද්ද මොකක්ද කියලා මුළු ක්ලාස් එකක් මැද්දෙම ලැජ්ජ වෙන්න"

"වැරද්ද... සර්ගේ හොදම ගෝලයට චිට් එකක් යවලා අනුන්ගෙන් උත්තර අහන්න තරම්ම පෙපර් එක අමාරු වුනාද.."

"අක්කා හොදටම දැක්කානේ ඒකේ ලියලා තිබ්බේ මොකක්ද කියලා, ඔව් උත්තරයක් ඕන වුනා හැබයි ඒ පෙපර් එකේ ප්‍රශ්නෙකට නෙමෙයි. අනික මං ඒ උත්තරේ බලාපොරොත්තු වුනේ අක්කාගේ කවුරුහරි කෙනෙක්ගෙන්ද??"

ඒ කොල්ලා කියන්නේ මොනවද කියලා මට තේරුන් නැති වුනත් ඒ දෙන්නා මේ කතා කරන්නේ මන් ගැන කියන එකනම් මට තේරුනා.. මගේ හිතේ තියෙන ප්‍රශ්නයක් සීනුගෙන් ඒ කොල්ලා අහද්දි මන් මහීගේ අතින් අල්ලන් නැවතුනේ ඒ උත්තරේ මටත් දැනගන්න ඕනම දෙයක් නිසා.

"මගේ කව්ද.. මල්ලිට කොහොමද ඒක ප්‍රශ්නයක් වෙන්නේ, ඒ මන් දන්න ලමයෙක්. ක්ලාස් ආවානම් විකාර ඔලුවෙන් අයින් කරලා ඉගෙනගන්න එක විතරක් කරන්න.."

දන්න ලමයෙක්! මන් එහෙනම් එයා දන්න කෙනෙක් විතරද..? සීනුගේ ඒ වචන එක්කම මන් ආපහු හැරිලා ක්ලාස් ඇතුලට ආවේ බඩේගින්නට වඩා හිතේ ගින්න වැඩි වෙද්දි.

"ඒ යුවීයෝ කොහෙද බන් ඔය යන්නේ, ඒ ගෞෂි අක්කා කිව්වේ උඹ ගැනද? මන් හිතුවේ එයයි උබයි හොඳම යාලුවෝ කියලා බන්"

"මේ අපි.. නෑ.. උඹට වැරදිලා.. අපි නිකන්ම නිකන් දන්න දෙන්නෙක් විතරයි."

ඉතින් කොහොම කියන්නද ඒ ඉන්නේ මගේ ජිවිතේ වටිනම කෙනා කියලා. මගේ එකම හොඳම යාලුවා කියලා.

ඔව් අපි හොඳම යාලුවෝ! අපේ බැඳීමට එයා මට දුන්න ලේබල් එක "යාලුකම".

ඉදිරියට යාම නතරකර

මෙතන මට නැවතිය හැක

ඇය හිනාවෙන් කියන්නෙත්

ඒ දෙයමවුව විය හැක

ඇය ඇන්ද අප අතර සීමාව

මායිමේ බලා ඉමි මම

"යාලුකම" එහි නම...

More Chapters